විහාරස්ථානයේ පිහිටීම
බස්නාහිර පලාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ,හේවාගම් කොරළයේ, පාදුක්ක පාදේශීය ලේකම් කොට්ඨාසට අයත් පාදුක්ක නගරයේ සිට මීටර් 150ක් (150m) පමණ දුරින් 125 ඉංගිරිය – පිටකොටුව ප්‍රධන මාර්ගයට මුහුණලා (කොටුව – අවිසාවේල්ල කැළණි වැළි දුම්රිය මාර්ගය ඉදිරිපිට) මොරගහතැන්න ලන්ද නමින් හැදින් වූ අඩි 150 ක් පමණ උස් කදු මුදුනක් මත විහාරස්ථානය පිහිටා ඇත.
විහාරස්ථානයේ ආරම්භය
ආදී කර්තෘභූත කුරුගල ශ්‍රී පියරතන නා හිමි. 1881 – 1924
හේවාගම් කෝරළයේ මැදගම් පත්තුවේ කුරුගල නම් ගමෙහි වූ මීගහවත්ත නම් භූමියෙහි 1848.5.26 දින වල්පොලගේ ගිරිගෝරිස් නමින් කුරුගල පියරතන හිමියෝ ජන්ම ලාභය ලැබීය. වල්පොලගේ දනියෙල් අප්පු හා ගාල්ලගේ මචෝහාමි යන දෙමාපියන්ට දාව උපන් පුතුන් සිව් දෙනා අතරින් තෙවැනියා විය. පසු කාලීනව පුජ්‍ය මීවන ධම්මපාල හිමියන් යටතේ පැවිදිව 1869 වසරේ දී කෝට්ටේ කළ්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභා මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබුවේය.
විද්‍යෝදය මහ පිරිවෙනෙහි අධ්‍යාපණය හැදැරීමට ගිය කුරුගල ශ්‍රී පියරතන හිමියන් අධ්‍යාපන කටයුතු මැණවින් අවසන් කොට මිෂනාරී සංවිධාන වලට එරෙහිව ගෙනගිය බෞද්ධ බලය ගොඩනැන්වීමේ හා බෞද්ධ පාඨශාලා ගොඩනැන්වීමේ ජාතික ව්‍යාපාර වලට නන් අයුරින් සහයෝගය ලබා දෙන්නට විය. මේ කාල සීමාව තුළ දී ස්වකීය ගුරුදේවෝත්තමයන් වූ පුජ්‍ය මීවන ධම්මපාල හිමියන්ගේ අපවත් වීමෙන් පසු මාලිගාකන්දේ රැදී නොසිට උඩුමුල්ල විහාරස්ථානයට වැඩම කරන්නට විය. එසේ උඩුමුල්ල විහාරස්ථානයට වැඩම කොට ශාසනික සේවාවන්හි රැදී සිටන කාලය තුළ දී පුජ්‍ය මීවන ධම්මපාල හිමියන්ගේ බාලම ශිෂ්‍යයා වූ පුජ්‍ය වටරැක ධම්මරතන හිමියන් සමඟ ඇති වූ බහින්බස්වීමක් නිසා උන්වහන්සේ උඩුමුල්ල විහාරස්ථානය හැරදමා උඩරට යන අදහසින් පිටත් විය.
මෙහි දී පා ගමනින් උඩරට බලා වැඩම කිරීමට උඩුමුල්ලේ සිට පාදුක්කට පැමිණෙන අතරතුර එම්.ඩී. දියොනිස් විදානාරච්චි මහතා හමුවිය. දෙදෙනා අතර ඇති වූ එකගතාවයක් මත පියරතන හිමියන්ගේ උඩරට ගමන එතනින් නතර විය. විදානාරච්චි මහතාගේ පණිවිඩයකට අනුව අරුක්වත්තේ දොන් චාර්ලිස් පද්මපෙරුම නොතාරිස් මහතා විසින් කුරුගල ශ්‍රී පියරතන නා හිමියන් වර්තමාන අරුක්වත්ත පාසල පිහිටා ඇති ස්ථානය ඉදිරිපිට පාලු නිවහනක වැඩ වාසය කරවන්නට විය.
මිෂනාරී බලවේගය උත්සන්න වෙමින් පැවති කාලයේ එයට එරෙහිව ක්‍රියා කළ පුජ්‍ය කුරුගල ශ්‍රී පියරතන හිමියන් පාදුක්ක නගරයේ පන්සලක් ඉදිකළ යුතු බව තොරුම් ගත්හ. ඊට අනුව ආණ්ඩුව සතු පාදුක්ක අරුක්වත්ත ගම් දෙකට මැදි වූ “මොරගහතැන්න ලන්ද“ නමින් හැදින් වූ (වර්තමාන විහාරස්ථානය සතු ඉඩම) අක්කර 05යි රූඩ් 03යි පර්.37.2ක පමණ ඉඩම තමන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් එක් දහස් හත්සිය පනහක (රු.1750ක) මුදලකට මිලදී ගෙන 1881 වසරේ දී විහාරස්ථානයක් ලෙස සකසා සඝසතු කොට පූජා කරන්නට යෙදුණි.
වර්තමාන සතර මහා දේවාලය පවතින ස්ථානයේ පොල්අතු පැළක් තම සංඝාවාසය ලෙස ඉදි කොට වැඩ වාසය කළ අතර බෝධීන් වහන්සේ නමක් ද රෝපණය කරන්නට විය. වර්තමානයේ මහජනතාව වැදුම් පිදුම් කරන්නේ ද එම බෝධීන් වහන්සේමය. එමෙන් ම පිරිත් මණ්ඩපය සහිත ධර්ම ශාලාව ද ඉදිකරන්ට විය. මීට අමතරව අංගම්පිටිය, ගලගෙදර, හංවැල්ල, දිද්දෙනිය යන ප්‍රදේශවල විහාරස්ථාන ඉදි කරන්නට විය. ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය උද්ධීපනය කිරීම සඳහා 1897 මැයි 01 දින පාදුක්ක, සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කළ අතර, ඊට සමගාමීව පින්නවල විද්‍යාලය, අංගම්පිටිය මහා විද්‍යාලය ද ආරම්භ කරන ලදී.
දෙවන විහාරාධිපතීන් වහන්සේ
පුජ්‍ය පාදුක්කේ ශ්‍රී සිරිනිවාස නා හාමි. 1924 – 1956
කුරුගල ශ්‍රී පියරතන නා හිමියන්ගෙන් සිදු වූ ශාසනික සේවාවන් අතර ශිෂ්‍යයන් වහන්සේලා 04 නමක් බිහි කරන්නට විය. එම ශිෂ්‍යයන් වහන්සේලා අතරින් වැඩිමහල් ශිෂ්‍යයා වූ පුජ්‍ය පාදුක්කේ සිරිනිවාස නාහිමියන් කුරුගල ශ්‍රී පියරතන නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුව 1924 වසරේ දී විහාරාධිපතිත්වයට පත් විය. උන් වහන්සේ විසින් විද්‍යාචන්ද්‍ර පිරිවෙන ආරම්භ කරන්නට විය. එමෙන්ම විහාර මන්දිරයේ වැඩ ආරම්භ කර තිබේ. නමුත් උන් වහන්සේට එහි වැඩ නිමා කිරීමට හැකියාව ලැබී නොමැත.
තෙවන විහාරාධිපතීන් වහන්සේ
පුජ්‍ය මණ්ඩාවල ශ්‍රී සෝරත නා හිමි. 1956 – 1996
1916 ජුලි මස 17 දින සියනෑ කෝරළයේ රමණීය භූමියක් වූ මණ්ඩාවල දී මාරසිංහගේ ජේමිස් අප්පුහාමිට හා එම හාමිනේට ලැබුණු දරුවා මාරසිංහගේ යෝතන් සිඤ්ඤෝ නම් විය. එම පිංවත් දරුවා පෙර භවයේ ලත් ශාසනික උරුමය ලෙසින් ම 1931 නොවැම්බර් 02 දින පාදුක්කේ සිරිනිවාස නාහිමිපාණන් වෙතින් පැවිද්ද ලැබීය. මෙසේ පැවිදි දිවියේ ලත් ගුණ දහම් තම ගුරු පා සේවනේ උගෙන වැඩිදුර ඉගෙනුමට ලංකාවේ අද්විතීය ශාස්ත්‍රීය පිං බිමක් වූ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙන් මුලික ධර්ම ශාස්ත්‍ර උද්ග්‍රහණය කළේය. වැඩිදුර අධ්‍යාපනය ඇක්වයිනාස් විද්‍යා විද්‍යාලයෙන් ලැබීය. මේ අධ්‍යාපන පරිසරය නිසාම මණ්ඩාවල සොරත නා හිමියන් ධර්ම ශාස්ත්‍ර පිළිබඳ මෙන් ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් ලත් බව මෙහිලා සඳහන් කළ යුතුය. 1936 දී කෝට්ටේ කළ්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභා මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබුවේය. උසස් අධ්‍යාපනය ඉංදියාවේ කල්කටා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලත් අතර වර්ශ ගණනාවක් එහි අධ්‍යාපනය ලැබීමෙන් පිරිපුන් පඩිවරයෙක් වශයෙන් මවු බිමට වැඩම කළහ.
ශිලයෙන්, ගුණයෙන් හා දැණුමෙන් පිරිපුන් අරෝහ පරිනාහ දේහ සම්පත්තියකින් හෙබි පුජ්‍ය මණ්ඩාවල සෝරත හිමිපාණන් වහන්සේ ස්වකීය ආචාර්‍යපාදයන් වහන්සේ වෙත එළෙඹි අතර පුජ්‍ය පාදුක්කේ සිරිනිවාස නා හිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව 1956 වසරේදී පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මාහා විහාරස්ථානයේ ආධිපත්‍යයට පත්වීය.
තමන් ලත් භාෂා පරිචය තුළින් අහිංසක දරු දැරියනට අධ්‍යාපනය ලබා දීම උදෙසා ඉගෙනීමේ කටයුතු ඇරඹු අතර ප්‍රදේශයේ බොහෝ වැඩිහිටියෝ එවකට උන් වහන්සේ වෙතින් භාෂා ශාස්ත්‍රය උගත් සිසුවෝ වූහ. පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, හින්දි ආදී භාෂාවන්ගෙන් තමන් ලත් පුලුල් අවබෝදය කුඩා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ලබා දෙනු වස් විද්‍යාචන්ද්‍ර පරීවේනස්ථානය දියුණූ කරමින් ක්‍රියා කරන්නට යෙදුණි.
විහාරස්ථානයේ අභිවෘද්ධිය විෂයෙහි උන් වහන්සේ කැපවීමෙන් කටයුතු කරන්නට විය. එවකට දායක සභාවේ ගරු සභාපතිව සිටි මෙරට අමාත්‍ය ධුරයන් රාශියක් දෑරූ ඇම්.ඩී.එච් ජයවර්ධන මහතා ප්‍රමුඛ දායක සභාව මගින් විහාර මන්දිරයේ වැඩ අවසන් කළ අතර ඇම්.ඩී.එච් ජයවර්ධන මහතා හා මැතිනියගේ මුලිකත්වයෙන් සතර මහා දේවාලය ද ඉදිකරන්නට විය. එමෙන් ම ඇම්.ඩී.එච් ජයවර්ධන මහතාගේ ධන පරිත්‍යාගයෙන් දෙමාපියන්ට පිං පතා 1979 වසරේ දී සදා නිම කරන ලද පොහොය සීමා මාලකය හා ශ්‍රි ජයවර්ධන පුස්තකාලය එවකට අග්‍රාමාත්‍ය ගරු රණසිංහ ප්‍රේමදාස මහතා විසින් විවෘත කරන්නට යෙදුණි.
පුජ්‍ය මණ්ඩාවල සෝරත නා හිමියන් වහන්සේ ප්‍රදේශයේ ජාතික ආගමික සියලු කටයුතු වලට නායකත්වය දෙමින් කටයුතු කළ අතර එවකට නැගී ආ අන්‍යාගමික කරණයට එරෙහිව සිංහයෙකු මෙන් නැගී සිටියේය. විද්‍යාචන්ද්‍ර පිරිවෙන, ජයන්ති විද්‍යාලය ආදී අධ්‍යාපන ආයතන ඉදිරියට පවත්වා ගෙන ගියේ ය. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පතමින් කුළ දර්වන් 27ක් පමණ සසුන් ගත කොට තිබේ. ඒ අතරින් ඉතිරි වූයේ වර්තමානයේ ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමයේ විහාරාධිපති පුජ්‍ය දේදුගල කාශ්‍යප නා හිමියන් හා වර්තමාන පාදුක්ක අරුක්වත්ත ශ්‍රී මහා විහාරාධිපති පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් පමණි. අන් අය උපවැදි විය. සෝරත නා හිමියන් දශක 04ක් පමණ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කොට සම්බුදු සසුනට හා විහාරස්ථානයට විශාල මෙහෙවරක් සිදු කොට 1996 අප්‍රේල් 08 වන දින අපවත් වී වදාළ සේක.
සිව්වන විහාරාධිපතීන් වහන්සේ
පුජ්‍ය බෙරන්නාවේ විමල ස්වාමීන්වහන්සේ. 1996 සිට වර්තමානය දක්වා
කේ.ආර්. පුංචිබංඩා පියාණන්ට හා අයි.එම්. පුංචිමහත්මිය මැණියන්ට දාව පිරිමි දරුවන් හය දෙනෙක් හා එක් ගැහැණු දරුවෙකුගෙන් යුතු පවුලේ පස් වැනියා ලෙස 1961.09.22 දින බෙරන්නාව, සීපෝත් ජනපදයේ, නාංගල ගෙදර නමින් හැදින් වූ නිවසෙහි ජන්ම ලාභය ලෑබීය. කේ.ආර්. කරුණාසේන ගිහි කළ නාමය විය. සීපෝත් සේනානායක විධ්‍යාලයෙන් 06 ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලැබු අතර 1974.04.17 දින පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයට පැමිණි අතර මණ්ඩාවල ශ්‍රී සෝරත නාහිමියන් යටතේ 1974.04.21 දින බෙරන්නාවේ විමල හිමි යන නාමයෙන් පැවිදි විය. 1982.07.17 දින කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභා මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබුවේය.
1974 සිට 1977 දක්වා ශ්‍රී විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙන් මුලික පිරිවෙන් අධ්‍යාපනය හැදෑරූ බෙරන්නාවේ විමල හිමියෝ 1977 සිට 1986 තෙක් නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන්නට විය. 1987 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) උසස් අධ්‍යාපනය හදාරා 1992 වසරේ සිට 2013 වසර දක්වා උඩුමුල් ශ්‍රී විමලජෝති පිරිවෙනේ නියෝජ්‍යය පරිවෙණාධිපති හිමියන් ලෙස ක්‍රියා කරන්නට විය.
පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මාහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගය වර්ෂ 1996 සිට ඇරඹුණා යැයි අවිවාදයෙන් යුතුව කිව හැකිය. පුජ්‍ය මණ්ඩාවල ශ්‍රී සෝරත නා හිමියන්ගේ වැඩිමහල් ශිෂ්‍යය පුජ්‍ය දේදුගල කාශ්‍යප නා හිමියන් ලියන්වල ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වූ අතර තත් ශිෂ්‍යයන් වහන්සේලා අතරින් පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් මණ්ඩාවල ශ්‍රී සෝරත හිමියන්ගේ අපවත් වීමෙන් පසුව පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත් විය.
පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් විහාරාධිපතීන් වහන්සේ ලෙස ක්‍රියා කරන මෙම කාලය තුළ විහාරස්ථානයේ භෞතික සම්පත් සංවර්ධනයට හා මානව සම්පත් බල ගැන්වීමට අප්‍රතිහත ධෛර්‍යයෙන් ක්‍රියා කරමින් සිටීයි.
විහාරස්ථානය සතු විහාර භුමිය තුළ භෞතික සම්පත් සංවර්ධනය කටයුතු:
- චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකිරීම සඳහා 1999.01.15 දින එවකට කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරය හෙබවූ පුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් මුල් ගල් තැබීම සිදුවිය. 2000.07.12 දින ධාතු නිධාන පූජෝත්සවය සිදුකරන්නට යෙදුන අතර චෛත්‍යය රාජයාණන් වහන්සේ නිරාවරණය කර විවෘත කිරීමේ පුණ්‍ය මහෝතසවය අති ගෙෘරවනීය කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ධුරන්දර බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන මහ නායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් 2001.11.22 දින සිදුකරන්නට විය.
- දැනට පවතින වේදිකාව සහිත ධර්ම ශාලාව 1993.09.19 දින පුජ්‍ය මන්ඩාවල ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් විසින් මුල් ගල් තැබීම සිදුවිය. එහි වැඩ 1996 වසරේ දී නිමකොට මණ්ඩාවල ශ්‍රී සෝරත හිමියන්ගේ තෙමස් පූර්ණ ගුණ සමරු පිංකමට සමගාමීව “ශ්‍රී සෝරතාභිධාන ගුණානුස්මරණ ධර්ම ශෘලාව” යන නාමයෙන් 1996.12.30 දින ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් විවෘත කිරීම සිදුවිය.
- 2009.02.04 දින මුල් ගල් තබා ආරම්භ කරන්නට යෙදුන අභිනව දෙමහල් සංඝාවාස මන්දිරය 2010.04.04 දින කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අනුනායක ධූරන්දර මහාචාර්‍ය පුජ්‍ය කොටපිටියේ රාහුල නා හිමියන් විසින් විවෘත කරන්නට විය. මේම අභිනව සංඝාවාසය ඉදිකිරීම සඳහා රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් (රු.13.500,000.00) වැය වූ අතර ඒ සඳහා පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් ප්‍රදේශවාසී සැදැහැතයන්ගේ ආධාර උපකාර ද ඇතිව අවුරුදු 01යි මාස 02ක් වැනි කෙටි කාලයක් තුළ වැඩ නිමවා සඝසතු කොට පුජා කරන ලදි.
- 2006.06.15 දින පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ විමද්‍යගත අරමුදල් මගින් ආරම්භ කරන්නට යෙදුන තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල විහාරාධිපති හිමියන් හා ප්‍රදේශවාසී පිංවතුන් විසින් වැඩ අවසන් කරන්නට විය.
- 2011.05.13 වැඩ ආරම්භ කරන්නට යෙදුන බුද්ධ මන්දිරය හා රන් වැට සහිත බෝධී ප්‍රාකාරය ඉදිකිරීම 2012.08.24 දින විහාරාධිපති බෙරන්නාවේ විමල හිමියන් විසින් පුද පූජාවන් සඳහා විවෘත කරන්නට විය.
- 2019.07.29 දින විහාරාධිපති පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන්ගේ සුරතින් මුල් ගල් තබා ආරම්භ කරන්නට යෙදුන “විහාර ප්‍රවිෂ්ට මකර තොරණ හා ආරක්ෂිත වළාකුළු බැම්මේ” ඉදිකිරීම් මේ වන විටත් සිදුවෙමින් පවතී.
- අංග සම්පූර්ණ දහම් පාසල් කාර්යාලයය හා ඊට යාබද ගිනිහල් ගෙය ඉදිකිරීම.
- විහාර භුමිය අලංකාර ලෙස නිර්මාණය කිරීම.
- විහාර මන්ධිරය, ධර්ම ශෘලාව, සතර මහා දේවාලය, හා පොහොය සීමා මාලකය යනාදියෙහි අබලන්ව පැවති වහල ප්‍රතිසංස්කරණය කොට සියලු ගොඩනැගිලි පිලිසකර කිරීම.
යනාදිය ප්‍රධාන වන අතර සියළු විහාරාංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට ශ්‍රී මහ වෙහෙර පත් කරන්නට විය.
ශාසනික මෙහෙවර:
පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් විසින් මානව සම්පත් බළ ගැන්වීමේ ක්‍රියා වලියේ දී සතර පේරුවේ දායක දායිකාවන් හා ප්‍රදේශවාසීන් විෂයෙහි ක්‍රියාත්මක කරන ශාසනික සේවාවන් රාශියකි.
- 1979 වසරේ උන් වහන්සේගේ මුලිකත්වයෙන් ළමුන් 17 දෙනෙකුගෙන් ඇරඹි දහම් පාසල වර්තමානයේ දී ළමුන් 1500ක් ගුරු භවතුන් 40ක් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නියැලෙන තත්ත්වයට සංවර්ධනය කිරීම.
- පුර පසලොස්වක පොහො දිනට ක්‍රියාත්මක වන සීල සමාදාන වැඩසටහන සඳහා උපාසක උපාසිකාවන් 400කට වැඩි පිරිසක් සහභාගී වන අතර විශේෂ පොහෝ දිනයනහිදී උපාසක උපාසිකාවන් 1000කට වැඩි පිරිසක් සහභාගී වේ. මේ සඳහා ප්‍රත්‍ය පහසුකම් ලබාදීම විහාරස්ථ කාර්ය සාධක සමිතිය, සංඝමිත්තා කුළගන සමිතියේත් ප්‍රදේශවාසී පිංවතුන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබයි.
- මාසයේ පළමු හා තෙවන සෙනසුරාදා දින පුහුණු භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
- 2006 වසරේදී ඇරඹි බෞද්ධ සංගමය හරහා ප්‍රදේශයේ කලා කරුවන් ඒකරාශී කොට අලංකාර පොසොන් පහන් කූඩුවක් නිර්මාණය කර ලංකාවාසී බොහෝ ජනතාවට නොමිලයේ ම නැරඹීමට අවස්ථාව ලබා දීම.
- 2011 වසරේ සිට බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන මහරගම අපේක්ෂා රෝහල සඳහා ලේ දන් දීමක් රුධිර දායකයන් 300කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීම.
- 2012 වසරේ සිට බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන වාර්ෂිකව පාදුක්ක සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මාතෘ සායනය වෙනුවෙන් දානමය පිංකමක් සිදුකිරීම.
- “පන්සලෙන් ගමට” යන සංකල්පය යටතේ ඇරඹි “සහන සේවා” පදනම මගින්,
-
-
-
- අංග සම්පූර්ණ නිවාස 40ක් ඉදිකර ලබා දීම.
- අර්ධ නිවාස රාශියක් ඉදිකිරීම.
- සනීපාරක්ෂක පහසුකම් නිවෙස් සඳහා ඉදිකිරීම. (වැසිකිළි ආදිය)
- රෝගීන් සඳහා “රෝද පුටු, අත්වාරු, කිහිළිකරු” ආදී වෛද්‍ය උපකරණ ලබා දීම.
- දිළිදු පවුල් වෙනුවෙන් වියලි සලාක මළු ලබා දීම. (පොහෙය දින)
- ශිෂ්‍යාධාර ලබා දීම. (පොහෙය දින)
- වෛද්‍යාධාර ලබාදීම. (පොහෙය දින)
- ඇසේ සුද පවතින රෝගීන් වෙනුවෙන් ඇස් පිරිසිදු කිරීම හා ඇස් කණ්නාඩි ලබාදීම.
- දරුවන් 05දෙනෙකුට වැඩි පවුල් වෙනුවෙන් මුදල් ආධාර ලබාදීම
-
-
-
- ස්වකීය ගම වූ බෙරන්නාව ග්‍රාමයේ අති දුෂ්කර මාර්ගයේ 2km පමණ කොටසක් ලක්ෂ 20ක මුදලක් වැය කොට සකස් කිරීම. ගමේ විහාරස්ථානය වූ සීපෝත් ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අවාසය, චෛත්‍යය, ධර්ම ශාලාව හා විහාර මන්දිරය ඉදිකොට සසුනට පූජා කිරීම.
- ප්‍රදේශයේ සිදුවන ස්වභාවික විපත් වලදී විහාරස්ථානය මුලිකත්වය ගෙන ක්‍රියා කිරීම හේතුවෙන් ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක් ලෙස විහාරස්ථානය ක්‍රියාත්මක වීම.
උක්ත වැඩසටහන් සියල්ල විහාරාධිපති පුජ්‍ය බෙරන්නාවේ විමල ස්ථවිරපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙන සිදුවන අතර මේ සඳහා සතර පේරුවේ දායකකාරකාදීන්ට අමතරව ප්‍රදේශ වාසී බොහෝ ජනතාවගේ සහයෝගය නිරන්තරයෙන් හිමිවේ.
1996 වසරේ දී ආදිපත්‍යයට පත්වූ පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් වර්තමාන කාර්‍යය සාධක සමිතිය පිහිටුවා සාමවිනිසුරු ධනපාල අමරතුංග, සරත් ගුණසේකර, සාමවිනිසුරු අමල් ගමලත්, ගාමිණී ඩයස්, මහින්ද සාගර යන ප්‍රධාන දායකසභාවේ පිංවතුන් සමඟ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටියි. සංඝමිත්තා කුළගන සමිතිය ආරම්භ කිරීම හා බෞද්ධ සංගමය ආරම්භ කිරීම මේ අතර විශේෂ වේ.
සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් පුජ්‍ය බෙරන්නාවේ විමල හිමියන් සසුන් ලැදි ශිෂ්‍යයන් වහන්සේලා 06 නමක් මේ වන විට සාසනයට දායාද කොට ඇත. ගතවූ කාල වකවානුවේ මෙන් ම වර්තමානයේ ද ධර්මශාස්ත්‍රෝග්‍රහණය සඳහා සිය ගණනක් භික්ෂූන්ට සියලු පහසුකම් සහිතව නේවාසික පහසුකම් සලසා ඇත.